පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ කර තිබේ. මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී මිහින්තලය රජමහා විහාරාධිපති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසයි. රැස් කරන අත්සන් මහානායක හිමිවරුන් වෙත භාරදී, අනතුරුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර හයක සිරදඬුවමක් නියම වී සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේදී ජනාධිපති සමාවක් ලබාදී තිබිණි. එම සමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 10 වැනිදා තීන්දු කළ අතර, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය කටයුතු සිදුවෙමින් පවතී.
















