ඉන්දීය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා කොංග්රස් පක්ෂය සැප්තැම්බර් 25 වැනිදා ඉන්දියාවේ ප්‍රදේශ රැසක විරෝධතා පවත්වා තිබේ. දිල්ලි, බිහාර්, ඇසෑම්, චන්දිගාර් ඇතුළු ප්‍රදේශවල විරෝධතා පැවති අතර, පට්නා සහ චන්දිගාර් ඇතුළු ස්ථානවල විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර භාවිත කර තිබේ.
ඡන්දදායක ලේඛනවල Special Intensive Revision හෙවත් SIR ක්‍රියාවලියට අදාළ තීරණ කිහිපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරුන් දෙදෙනෙකු අවස්ථා කිහිපයකදී විරෝධතා සහ ගැටලු සටහන් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය විමර්ශනයකින් වාර්තා වීමෙන් පසු මෙම දේශපාලන ආන්දෝලනය තීව්ර වී තිබේ. කෙසේ වෙතත්, ඉන්දීය මැතිවරණ කොමිසම පවසන්නේ අවසන් තීරණ ඒකමතිකව ගත් බවත් එහි ඩිජිටල් පද්ධති දැඩි දත්ත ආරක්ෂණ ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වන බවත්ය.
මේ අතර, Cockroach Janta Party කණ්ඩායම ග්‍යානේෂ් කුමාර් ඉල්ලා අස් නොවන්නේ නම් ඔක්තෝබර් 2 වැනිදා මුම්බායි සිට රට පුරා විරෝධතා ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබේ. CPI(M), CPI ඇතුළු වාමාංශික පක්ෂ පහක්ද සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 2 දක්වා විරෝධතා වැඩසටහනක් ප්‍රකාශ කර ඇති අතර, විපක්ෂ පක්ෂ ග්‍යානේෂ් කුමාර් ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
















