එල් නිනෝ තත්ත්වය ප්‍රබල වීමත් සමඟ ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයින පුරා වර්ෂාපතනයේ වර්ධනයක් ඇතිවීමත් සමඟ ගංවතුර තත්ත්වයන්ට සූදානම් වීම අවශ්‍ය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව පවසයි. කාර්‌යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පැසිෆික් සාගරය ආශ්‍රිත එල් නිනෝ තත්ත්වය සහ ඉදිරියේදී බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සක්‍රීය වීම මේ සඳහා බලපාන බවයි.
දැනට පවතින කාලගුණික දත්ත අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසිබර කාලගුණයක් අපේක්ෂා කරන අතර, වියළි කාලගුණයක් පැවැති ප්‍රදේශවල මෙම මස 28 සහ 29 වැනිදා සිට ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළේය. අද (25) බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, පස්වරු 2.00න් පසු ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 55ත් අතර දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් අතර උසකට ඉහළ යා හැකි බැවින් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළාශ්‍රිත ජනතාව, ධීවරයන් සහ නාවිකයන් අවධානයෙන් සිටින ලෙස දැනුම්දී තිබේ.














