මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්‌දන ඒකකයේ දත්ත අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 99,634ක් වාර්තා වී ඇති අතර, මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වේ.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.53%ක් එනම් රෝගීන් 52,340ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,136කි. කොළඹින් 19,569ක්, මහනුවරින් 7,547ක්, කළුතරින් 6,339ක් සහ මාතරින් 6,273ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.
මාසිකව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක්ද, අගෝස්තු මාසයේදී 10,155ක්ද, සැප්තැම්බර් මාසයේ මේ දක්වා 4,144ක්ද වාර්තා වී තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















