කොළඹ කොටුව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබාදී ඊට අදාළ අනුමැතිය කඩිනම් කර දීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ (25) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය පසුගිය 24 වැනි දින අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
















