හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මූලික රෝහල ආසන්නයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරා බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. හැටන් සිට නෝර්වුඩ් දෙසට අධික වේගයෙන් ධාවනය වූ අදාළ ත්‍රීරෝද රථය, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයක මුහුණත සහ බද ප්‍රදේශයේ ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසයි.
ප්‍රාථමික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරා ජංගම දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් දැඩි නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර ඇති බවයි. එම අවස්ථාවේදී වාහනයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ත්‍රීරෝද රථය බස් රථය මත ගැටී කුඩුපට්ටම් වී ගොස් ඇති අතර, බස් රථයට ද බරපතළ අලාභහානි සිදුව තිබේ.
මෑතකාලීනව මෙරට මාර්ගවල වාර්තා වන රිය අනතුරු අතර ජංගම දුරකථන භාවිතය සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම ප්‍රධාන හේතුවක් වී ඇති බව මෙම සිදුවීමෙන් යළිත් වරක් තහවුරු වේ. රියදුරන්ගේ මෙවැනි නොසැලකිලිමත්කම් පාලනය කිරීම සඳහා නීතිය දැඩි කිරීමට මෙන්ම මහජන ආරක්ෂාව වෙනුවෙන් පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන කඩිනමින් පියවර ගනු ඇතැයි අපේක්ෂිතය.
















