කොළඹ සහ අවට ප්‍රදේශවල බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරු සම්බන්ධ රෙගුලාසි සැප්තැම්බර් 29 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. එහි ප්‍රධාන අරමුණ වන්නේ අධික රථවාහන තදබදය අවම කරමින් බස් මගීන්ට ආරක්ෂිතව සහ කාලසටහනට අනුව ගමනාන්ත වෙත ළඟාවීමට අවස්ථාව සැලසීමයි.
බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු හතක් ක්‍රියාත්මක වන අතර, සැප්තැම්බර් 29 වැනිදා සිට ‘මෙට්‍රෝ’ බස් සේවයට නව බස් රථ 104ක් එක් කිරීමටද සැලසුම් කර තිබේ.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශය සඳහන් කර ඇත්තේ මෙම මංතීරු පෙරවරු 6.00 සිට 9.00 දක්වාත්, පස්වරු 4.00 සිට 7.00 දක්වාත් ක්‍රියාත්මක වන බවයි. එම කාලසීමාව තුළ වෙනත් වාහනවලට එම මංතීරු භාවිත කිරීම හෝ ඒවායේ වාහන නවතා තැබීම අවසර නොමැති අතර, හදිසි අවස්ථා, අනතුරු වළක්වා ගැනීම, දැඩි රථවාහන තදබදයක් මඟහැරීම හෝ අවශ්‍ය ස්ථානයක හැරීමක් සිදුකිරීම වැනි අවස්ථාවලදී පමණක් ඇතුළුවීමට අවසර ඇත.
මෙම මංතීරු ‘මෙට්‍රෝ’ බස් රථ සඳහා පමණක් සීමා නොවන අතර අනෙකුත් මගී ප්‍රවාහන බස් රථවලටද භාවිත කළ හැකිය. රෙගුලාසි උල්ලංඝනය කරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂා කිරීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.













