දින තුනක් පුරා පැවති 85 වන අන්තර් කොට්ඨාස පොලිස් මලල ක්‍රීඩා උළෙල 2026 සැප්තැම්බර් 27 වනදා සවස බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී සාර්ථකව අවසන් වී තිබේ.
සමාප්ති උත්සවය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මෙවර තරගාවලිය සඳහා පොලිස් කොට්ඨාස 69ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ. දින තුනක් පුරා පැවති තරගාවලියේ අවසන් තරග කිහිපයක්ද සමාප්ති දිනයේදී පැවැත්විය.
තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගනිමින් ජනාධිපති අභියෝගතා කුසලානය හිමිකර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වූ අතර, සමස්ත අනුශූරතාව දිනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගමැති අභියෝගතා කුසලානය හිමි විය.
තරග ජයග්‍රාහකයින් වෙත ජය සංකේත සහ කුසලාන ප්රදානය ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු නිලධාරීන් විසින් සිදුකර තිබේ.
















