ශ්‍රී ලංකාවේ “දුම්කොළවලින් නිදහස් පරපුරක්” (Tobacco-Free Generation) ඇති කිරීම සඳහා යෝජිත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කර නීතියක් බවට පත්කරන ලෙස ඉල්ලා හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය නියෝජනය කරන කාන්තාවන් සහ මව්වරුන් 300කට අධික පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී රැස්ව තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් සහභාගී වූ මෙම සාමකාමී රැස්වීමේදී දරුවන් සහ අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම් ඇතුළත් සංදේශයක්ද ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇත.
යෝජිත Tobacco-Free Generation වැඩපිළිවෙළ යටතේ 2010 ජනවාරි 1 හෝ ඉන් පසුව උපන් පුද්ගලයන්ට දුම්වැටි ඇතුළු දුම්කොළ නිෂ්පාදන නීත්‍යානුකූලව අලෙවි කිරීම තහනම් කිරීමට යෝජනා වී තිබේ. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් එම පරපුර වයස අවුරුදු 21 ඉක්මවූ පසුවද දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නීත්‍යානුකූල අවසරයක් නොලැබෙනු ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මෙම ප්‍රතිපත්තිය පිළිබඳ යෝජනාවක් 2024දී ඉදිරිපත් කර ඇති අතර, 2025 සහ 2026 වසරවලදී ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව යෝජනාව ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් වන විටත් මෙම වැඩපිළිවෙළ නීතියක් බවට පත් වී නොමැති අතර, එය තවමත් කැබිනට් පත්‍රිකාවක් ලෙස පවතින බව වාර්තා වේ.
















