පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් 2018 වසරේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ලෙස ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය රැස් කර තැබීමේ සිද්ධියට අදාළ නඩුව ලබන සඳුදා (ඔක්තෝබර් 05) සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන සැකකරු ලෙස අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකු මෙහිදී නම් කර ඇති අතර, නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් යටතේ නඩු ගොනු කර ඇත. මෙම සැකකරුවන්ගෙන් සිව් දෙනකු මීට පෙර පාස්කු මහ නඩුවෙන් වරදකරුවන් ලෙස සිරදඬුවම් නියමව සිටින අය වෙති. නඩු කටයුතු සඳහා අවශ්‍ය ලේඛන තමන්ට ලැබී නොමැති බව 04 වන සහ 06 වන විත්තිකරුවන් අධිකරණයට දැනුම් දුන් අතර, බන්ධනාගාර මාරු කිරීම් හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇත. ඒ පිළිබඳව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, අදාළ ලේඛන විත්තිකරුවන් වෙත වහාම ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.
2018 වසරේදී මෙම වත්තෙන් නයිට්‍රේට් තොගයක්, ජීව උණ්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
















