ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන ආගමික ආශිර්වාද මාලාවේ තවත් අදියරක් ලෙස යුද්ධ හමුදා, රෙජිමේන්තු සහ ඒකක ධජයන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමේ විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ (28) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වුණා.
සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මෙන්ම මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත රණවිරුවන් ඇතුළු සමස්ත රණවිරු ප්‍රජාවගේ සුරක්ෂිතභාවය, යහපැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සංස්කෘතික පෙරහැරකින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට රැගෙන ආ යුද්ධ හමුදා ධජය, සියලු රෙජිමේන්තු ධජ සහ ඒකක ධජ ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය සඳහා ගෞරවාන්විතව තැන්පත් කර තිබුණා.
මෙහිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකරමින් යුද්ධ හමුදාව වෙත ආශිර්වාද පළ කළ අතර, ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන්ද සෙත් පැතීම සිදුකර තිබෙනවා.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
















