සෑම වසරකම සැප්තැම්බර් 25 දින සැමරෙන ලෝක ඖෂධවේදීන්ගේ දිනයට සමගාමීව, ක්‍රියාකාරී ඖෂධවේදීන්ගේ සංගමය (APP) විසින් සංවිධානය කරන ලද **”APPCON 2026″** වාර්ෂික අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. “සෞඛ්‍ය සම්පන්න අනාගතයක් උදෙසා ඖෂධවේදීන් සවිබලගැන්වීම” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව මඟින් ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා හා නිපුණතා ප්‍රවර්ධනය කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, අතීතයේදී නිශ්චිත සැලසුමකින් තොරව කටයුතු කිරීම නිසා සෞඛ්‍ය පද්ධතිය විවිධ බාධාවන්ට මුහුණදුන් බවත්, වත්මන් රජය පසුගිය දෙවසර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සෑම තීරණයක්ම ප්‍රතිපත්තිමය දැක්මකින් යුතුව ගෙන ඇති බවත්ය. අතරමග නවතා දමා ඇති සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති සෞඛ්‍ය ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ඉදිරි දෙවසර තුළ රුපියල් කෝටි 4,500කට ආසන්න මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
















