දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ සඳහන් විශේෂ වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා ජනමත විචාරණයකට යාමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මතු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය මඟින් ඇතැම් වගන්ති සරල බහුතරයකින් සහ තවත් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට දන්වා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව, එළැඹෙන ඔක්තෝබර් 8 වැනි දින පාර්ලිමේන්තුවේදී අදාළ විවාදය පවත්වා ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිත අතර, ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වන තුනෙන් දෙකක බහුතර අනුමැතිය පාර්ලිමේන්තුව තුළින්ම ලබා ගැනීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















