පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මහජනතාවට වඩාත් කඩිනම්, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවාවක් සහතික කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙහිදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් සංවර්ධනය කෙරෙන “පළාත් පාලන ආයතන ඩිජිටල්කරණ ජාතික රාමුව” පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, විවිධ ආයතන වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තවද, වරිපනම් සහ ජල බිල්පත් ගෙවීම් වැනි සේවා ඩිජිටල්කරණය කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ජාලගත කිරීම සහ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක “GovHR” ඩිජිටල් පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
















