2026 වසර සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වන මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද (29) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී 2026 වසරේදී දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සමස්ත සංවර්ධන ව්‍යාපෘති 2,752ක් සඳහා රුපියල් මිලියන 11,003.96ක මුදලක් වෙන් කර ඇති බව අනාවරණය විය.
එම ව්‍යාපෘති අතරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ව්‍යාපෘති 1,031ක් සඳහා රුපියල් මිලියන 2,723.72ක් ද, අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ ව්‍යාපෘති 1,079ක් සඳහා රුපියල් මිලියන 4,672.39ක් ද වෙන් කර ඇත. තවද, නැගෙනහිර පළාත් සභාව යටතේ ව්‍යාපෘති 627ක් සඳහා රුපියල් මිලියන 2,706ක් සහ විදේශීය අරමුදල් යටතේ ව්‍යාපෘති 15ක් සඳහා රුපියල් මිලියන 901.85ක් වෙන් කර ඇති අතර, මෙහිදී පානීය ජලය සැපයීම, නීති විරෝධී වැලි කැණීම් වැළැක්වීම සහ අලි–මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු සංවර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.
















