ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වෙළෙඳ, ආරක්ෂක, අධ්‍යාපන සහ සාගර කටයුතු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වී තිබෙනවා.
ඒ, දෙරට අතර හයවන ජ්‍යෙෂ්ඨ නිලධාරී සාකච්ඡා වටය සහ සිව්වන උපායමාර්ගික සාගර සංවාදය සැප්තැම්බර් 21 වැනිදා කොළඹදී පැවැත්වීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ පළමු සහකාර ලේකම් සාරා ස්ටෝරි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.ආර්.කේ. ලේනගල යන මහත්ම මහත්මීන්ගේ සම-සභාපතිත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වී තිබෙනවා.
ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආරක්ෂක කටයුතු සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්රවල නව සහයෝගීතා අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම කලාපීය, බහුපාර්ශ්වික සහ සාගර කටයුතු සම්බන්ධයෙන්ද දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වී ඇති බව සඳහන්.
















