එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන අතරතුර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ජාතික සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී තිබෙනවා. ශ්‍රී ලංකාව 1957 සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා 21,000කට වැඩි පිරිසක් යොදවා ඇති බව අමාත්‍යවරයාගේ ජාතික ප්‍රකාශයේ සඳහන්.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් අතුල් ඛාරේ මහතාද විජිත හේරත් මහතා හමුවී තිබෙනවා.
එම හමුවේදී ශ්‍රී ලාංකික සාම සාධක භටයන් සඳහා අවශ්‍ය මෙහෙයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ බවත්, එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන දායකත්වය යළි තහවුරු කළ බවත් සඳහන්.
මීට අමතරව, න්‍යෂ්ටික අවි මුළුමනින්ම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවති ඉහළ පෙළේ සැසියකටද අමාත්‍යවරයා සහභාගී වී ඇති අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම එහිදී යළි අවධාරණය කර තිබෙනවා.
















