රටක සැබෑ සංවර්ධනය සහ අනාගත අභිමානය පිළිබිඹු වන්නේ එරට වෙසෙන දරුවන්ගේ සිනහව තුළ බව අවධාරණය කරමින්, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ පණිවිඩයක් නිකුත් කරනු ලැබ තිබේ. “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික සැමරුම හරහා, වර්තමාන තරගකාරී සමාජ ක්‍රමය නිසා දරුවන්ට අහිමි වී යන මානසික නිදහස, ආචාරධර්මීය සංවර්ධනය සහ ඔවුන්ට හිමිවිය යුතු ප්රමුඛ ළමාවිය නැවත උරුම කර දීමේ සමාජ වගකීම සමස්ත වැඩිහිටි සමාජයටම යළිත් වරක් මතක් කර දී ඇත.
ජාති, ආගම් හෝ ආර්ථික පසුබිම් නොසලකා මෙරට වෙසෙන සියලුම දරුවන් එකම මවකගේ දරුවන් ලෙස සලකා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. වැඩිහිටියන් විසින් දරුවන් තුළින් දැකිය යුත්තේ ඔවුන් විසින් ස්වයංව ගොඩනගා ගන්නා පෞරුෂය මිස, තමන්ට අහිමි වූ අභිලාෂයන් නොවන බව සිහිපත් කරමින්, දරුවන් ශාරීරිකව හා මානසිකව සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙයුම මේ වන විට පුළුල් කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ වෙනස් වෙමින් පවතින නවීන ලෝකයට විශ්වාසයෙන් පිවිසීමට අවශ්‍ය දැනුම, නව තාක්ෂණික පහසුකම් සහ පුළුල් අවස්ථා දරුවන්ට ලබා දීමට රජය දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටියි. ශක්තිමත් ශ්‍රී ලංකාවක අනාගත පරපුර බිහි කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ ඉදිරියේදී මෙරට ළමා සුබසාධන ක්ෂේත්රයේ තිරසාර පරිවර්තනයකට මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















