සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සටහන් තැබූ බව කියන සටහන් පොත් 8ක් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරු මේ වනවිට වැලිසර විශේෂිත බන්ධනාගාර කඳවුරේ රඳවා සිටින අතර, අද නඩුවට සූම් තාක්ෂණය ඔස්සේ පෙනී සිටියා.
නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද බවට සැක කෙරෙන සටහන් පොත් 8ක් සොයාගෙන ඇති බවයි.
එම සටහන් පොත්වල අත්අකුරු පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර, සිද්ධියට අදාළ සැකකරු ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.














