මස්කෙළිය ප්රාදේශීය සභාවට අයත් ගලි ට්රැක්ටරයකින් මලපහ අපද්රව්ය කාසල්රි ජලාශයට ජලය ගලාබසින දික්ඔය ඇළ මාර්ගයට මුදාහරිමින් තිබියදී එහි රියැදුරු සහ රිය සහායක හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මස්කෙළිය ප්රදේශයෙන් එකතු කරගත් මලපහ අපද්රව්ය බවුසරය ආධාරයෙන් මධ්යම කඳුකරයේ ප්රධාන පානීය ජල මූලාශ්රයක් මෙන්ම ජල විදුලි උත්පාදනයට සෘජුව දායක වන කාසල්රි ජලාශයට මුදාහරින බවට ප්රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මහජන සෞඛ්යයට සහ පරිසර පද්ධතියට බරපතළ අනතුරක් සිදු කරමින් වගකිවයුතු රාජ්ය ආයතනයකට අයත් වාහනයක් මෙවැනි නීතිවිරෝධී අපරාධයකට සම්බන්ධ වීම පිළිබඳව ප්රදේශවාසීන් දැඩි කෝපය සහ අප්රසාදය පළ කර සිටිති.
ජනතාවගේ සෞඛ්යාරක්ෂාව සහ පරිසරයේ පවිත්රතාව සුරැකීමට බැඳී සිටින ආයතන විසින්ම මෙවැනි ජරාජීර්ණ හා වගකීම් විරහිත ක්රියා සිදු කිරීම සමස්ත පද්ධතියේම පාලනාධිකාරියේ දැඩි පිරිහීමක් පෙන්නුම් කරන අතර, මෙම ජල මූලාශ්ර දූෂණය වීම හේතුවෙන් දහස් සංඛ්යාත ජනතාවකගේ ජීවිත බරපතළ සෞඛ්ය අවදානමකට ලක්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්රාදේශීය සභා මට්ටමින් සිදුවන මෙවැනි පරිසර දූෂණ ක්රියා මැඩපැවැත්වීම සඳහා අදාළ අංශ දැඩි විනයානුකූල හා නීතිමය ක්රියාමාර්ග ගත යුතුව තිබේ.
මෙම සිදුවීමත් සමඟ මස්කෙළිය ප්රාදේශීය සභාවේ අපද්රව්ය කළමනාකරණ ක්රමවේදයන් සහ මෙහෙයුම් විනිවිදභාවය දැඩි දැඩි පරීක්ෂාවට ලක්ව ඇති අතර, ජලාශ වෙත අපද්රව්ය මුදාහරින ජාවාරම්කරුවන්ට එරෙහිව තවත් පුළුල් පරීක්ෂණයක් ක්රියාත්මක කර දැඩි දඬුවම් ලබා දීමට බලධාරීන් කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















