දේශීය වෙළඳපොළ තුළ රාජ්ය ආයතනවල තරඟකාරීත්වය ඉහළ නංවමින් ආයතනික සහ පාරිභෝගික ජාලය පුළුල් කිරීමේ අරමුණින්, ශ්රී ලංකා රාජ්ය වාණිජ (සාමාන්ය) නීතිගත සංස්ථාව (STC) විසින් නවීන නිෂ්පාදන තුනක් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. නියෝජ්ය අමාත්යවරුන් වන ආර්.එම්. ජයවර්ධන සහ උපාලි සමරසිංහ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් කොළඹ මැරිනෝ බීච් හෝටලයේ පැවති මෙම විශේෂ උත්සවයේදී අඟල් 65 ස්මාර්ට් බෝඩ්, ඉන්වර්ටර් වායු සමීකරණ යන්ත්ර සහ ක්ෂණික විදුලි උණු වතුර ෂවර් එළිදක්වන ලද අතර, ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රවීන්ද්ර ප්රනාන්දු මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
තරඟකාරී මිල ගණන් යටතේ විශ්වාසදායක නිෂ්පාදන සහ අලෙවියෙන් පසු ඉහළ පෙළේ සේවාවක් පාරිභෝගිකයාට ලබා දීම හරහා තමන්ගේම සන්නාම කළඹ ශක්තිමත් කිරීම මෙම ව්යාප්තියේ මූලික අපේක්ෂාව බව සංස්ථාව පෙන්වා දෙයි. මෙහිදී වෙළඳපොළ තුළ රාජ්ය අංශයේ විශ්වසනීයත්වය තහවුරු කරමින් දිගුකාලීනව ආයතනය සමඟ අත්වැල් බැඳගත් ආයතනික ගනුදෙනුකරුවන් තිස් හය දෙනෙකුගේ කාර්ය සාධනය සහ සේවා විශිෂ්ටත්වය අගයමින් විශේෂ සම්මාන ප්රදානය කිරීමක් ද සිදු කෙරුණු අතර, එය රාජ්ය හා පෞද්ගලික හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමට කදිම රුකුලක් විය.
විවෘත ආර්ථිකය තුළ රාජ්ය වාණිජ ආයතන නවීන පාරිභෝගික ඉල්ලුමට ගැළපෙන අයුරින් මෙවැනි උසස් තාක්ෂණික නිෂ්පාදන හඳුන්වා දීම මෙරට වෙළඳපොළ ප්රමිතිය ඉහළ නැංවීමට මෙන්ම රාජ්ය ව්යවසායන් ලාභදායී මාවතකට යොමු කිරීමට මහත් පිටුබලයකි. ඉදිරියේදීත් ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන සහ අඛණ්ඩ සේවාවන් හරහා පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට STC සංස්ථාව ගන්නා මෙම උත්සාහය, දේශීය වෙළඳපොළ තුළ රාජ්ය අංශයේ භූමිකාව වඩාත් සක්රීය හා සාර්ථක වීමට මංපෙත් විවර කරනු ඇතැයි අපේක්ෂා කෙේ.
















