ලංකා වාණිජ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වෙන 2026 ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවේ (SLEIS 2026) ආරම්භක දිනයේ ප්රධාන දේශනය පැවැත්වීම සඳහා රිලයන්ස් කන්සියුමර් ප්රොඩක්ට්ස් ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරී, කේ.කේ. ලෙස ජනප්රිය ක්රිෂ්ණකුමාර් මහතා එක්වීමට නියමිතය. “වෙනස්වන ගෝලීය ආර්ථිකයක ශ්රී ලංකාව ස්ථානගත කිරීම: ඔරොත්තු දීමේ හැකියාව, ප්රතිසංස්කරණ සහ ආර්ථික ප්රතිපත්තියේ අනාගතය” යන තේමාව යටතේ ක්රියාත්මක වන මෙම සමුළුව හරහා, කලාපීය ආර්ථික ප්රවණතා හමුවේ ශ්රී ලංකාව අත්පත් කරගනිමින් සිටින උපායමාර්ගික වැදගත්කම ජාත්යන්තර මට්ටමින් දැඩි අවධානයට ලක්ව තිබේ.
කොකා-කෝලා ඉන්දියාවේ සහ නිරිතදිග ආසියාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස මෙන්ම, ජාත්යන්තර පාරිභෝගික වෙළඳපොළ තුළ දශක හතරකට අධික අත්දැකීම් ඇති ප්රවීණයෙකු ලෙස, ක්රිෂ්ණකුමාර් මහතාගේ මෙම සහභාගීත්වය ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට සහ දේශීය වෙළඳපොළ නවීකරණය කිරීමට විශාල රුකුලක් වනු ඇත. වෙනස්වන පාරිභෝගික ඉල්ලුම හඳුනාගනිමින්, තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට පෞද්ගලික අංශයේ සක්රීය දායකත්වය සහ ආර්ථික ප්රතිසංස්කරණ කඩිනම් කළ යුතු ආකාරය පිළිබඳව ඔහු සිය අත්දැකීම් අනුසාරයෙන් ගැඹුරු විශ්ලේෂණයක් මෙහිදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සමුළුව සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, VISA Worldwide, ආසියානු සංවර්ධන බැංකුව සහ ඩයලොග් වැනි ප්රමුඛ පෙළේ ජාතික හා ජාත්යන්තර ආයතන රැසක අනුග්රාහකත්වය ලැබී තිබීම, මෙරට ආයෝජන පරිසරය කෙරෙහි ගෝලීය ආයතන තබන විශ්වාසය තවදුරටත් තහවුරු කරයි. ඉදිරි ආසියානු ආර්ථික සබඳතා සමඟ ශ්රී ලංකාව ශක්තිමත්ව අරමුණින් සංවිධානය කෙරෙන මෙම සමුළුව, රටේ ඉදිරි ආර්ථික ප්රතිපත්ති හැඩගැස්වීමේදී සහ විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















