පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක් අද (5) අලුයම ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීමෙන් පසු, එය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පීලිපැනීමට ලක්වූ දුම්රිය මාර්ගයට පස් හා ගල් වැටී තිබීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වන අතර, ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
දුම්රිය පීලිගත කිරීමට අමතරව මාර්ගය යළි දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමේ කටයුතුද සිදුකරන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කර තිබේ. සවස කාර්යාල දුම්රිය ධාවනය කළ හැකිද යන්න පීලිගත කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසු තීරණය කරන බවද ඔහු සඳහන් කර ඇත.














