1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව නීති රාමුවක් හඳුන්වාදීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී, වත්මන් සමාජ අවශ්‍යතා සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන නව නීති රාමුවක අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාව 2016 පෙබරවාරි 8 වැනිදා එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අපරානුමත කර ඇති අතර, එම සම්මුතියට අනුකූල දේශීය නීති රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වෙමින් පවතී. මේ අතර, නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආබාධ සහිත ප්‍රජාව ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ ක්රියාවලියද සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
















