හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදෙස්ගතව සිට අද (06) යළි මෙරටට පැමිණ තිබෙනවා.
ඇය මැලේසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන්.
මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වා ඕනෑම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුම්පතක්ද ගොනු කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වගඋත්තරකරු කරමින් ගොනු කළ එම අයැදුම්පත මගින්, විදෙස්ගතව සිට ප්‍රතිකාර ලබාගෙන මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇයගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.
‘සිරිලිය සවිය’ අරමුදලට අයත් බැංකු ගිණුමක සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර ඇයට දැනුම් දී තිබූ බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, එම දැනුම්දීමෙන් පසුදිනම ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, පසුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබූ බව සඳහන්.
නියමිත දිනයට පෙනී නොසිටියහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දී තිබූ පසුබිමක මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබෙනවා.














