මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කළ බව කියන දුරකථන සංවාදයක හඬපටයක් අනාවරණය වී තිබේ.
අදාළ හඬපටයේදී එම පුද්ගලයා කහඳගම මහතාගේ දියණියට පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනය කරන ආකාරය ඇසෙන බව සඳහන් වේ.
එහිදී කහඳගම මහතා විසින් ලබාගත් බව කියන ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට අදාළ මුදල් මාස තුනක් තිස්සේ ගෙවා නොමැති බවට එම පුද්ගලයා චෝදනා කරන බව වාර්තා වේ.
මුදල් නොගෙවන්නේ නම් කහඳගම මහතාට වෙඩි තබන බවටත්, ඔවුන්ගේ වෙළෙඳසැලට පහරදී වෙඩි තබන බවටත් තර්ජනය කළ බවද එම හඬපටය සම්බන්ධයෙන් පළ වූ වාර්තාවේ දැක්වේ.
අනතුරුව සංවාදයට එක්වන මහින්ද කහඳගම මහතා කලබල නොවන ලෙස අදාළ පුද්ගලයාගෙන් ඉල්ලා සිටින අතර, හිඟ මුදල් පියවීම සඳහා ඉඩමක් විකිණීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කරන ආකාරයද හඬපටයේ ඇතුළත් බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත මහින්ද කහඳගම මහතා ඇතුළු දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් බව සඳහන් වන පසුබිමක මෙම හඬපටය ප්‍රසිද්ධියට පත්ව තිබේ.















