ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුණින් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන පාතාල සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬලීම සඳහා පුළුල් නීතිමය රාමුවක් හඳුන්වා දෙමින් නව ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධාන මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට මඟ සලසන මෙම යෝජිත පනත හරහා, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයන් වීම, නවාතැන් ලබා දීම මෙන්ම අධිකරණ හා විමර්ශන නිලධාරීන්ට බලපෑම් එල්ල කරන්නන්ට එරෙහිව වසර පහේ සිට විසි වුණක් දක්වා වන බරපතළ සිරදඬුවම් සහ දඩ මුදල් නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇත.
මෙම නව පනත් කෙටුම්පත යටතේ පොලිස් නිලධාරීන් වෙත වරෙන්තුවකින් තොරව වාහන සහ යාත්‍රා පරීක්ෂා කිරීමේ සිට මහේස්ත්‍රාත් අවසරය මත ඩිජිටල් සන්නිවේදන අවහිර කිරීම්, රහස්‍ය ආවරණ මෙහෙයුම් සහ සැකකරුවන්ගේ බැංකු ගිණුම් දත්ත ලබා ගැනීම දක්වා සුවිශේෂී සහ පුළුල් බලතල රැසක් පවරා දී තිබේ. එපමණක් නොව, විමර්ශන කටයුතුවල විනිවිදභාවය සුරැකීම පිණිස සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ශ්‍රව්‍ය-දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ පටිගත කිරීම අනිවාර්ය කර ඇති අතරම, ජාත්‍යන්තර අපරාධ ජාලයන් මැඬලීම සඳහා උදර්පන නීති මඟින් අදාළ රටවල් සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද මෙහිදී පියවර ගෙන ඇත.
රට තුළ දිගුකාලීනව මුල් බැස තිබෙන පාතාල උවදුර සහ සංවිධානාත්මක අපරාධ ජාලයන් මුලිනුපුටා දැමීම සඳහා මෙම පනත දැඩි රුකුලක් වනු ඇති අතර, අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මෙම දැඩි නීතිමය රැමඩුව ඉදිරියේදී පාර්ලිමේන්තු අනුමැතිය හරහා සම්පූර්ණයෙන් බලාත්මක වීමත් සමඟ මෙරට අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය නව සන්ධිස්ථානයක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














