සිරිළිය සවිය නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අද (07) අධිකරණයේදී විශේෂ කරුණු රැසක් අනාවරණය කළේය.
සැකකරුට ඇප ඉල්ලමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයාට ‘ස්ලීප් ඇප්නියා’ (Sleep Apnea) නම් රෝගී තත්ත්වය ඇති අතර, ඔහු නින්දට යද්දී මැෂින් එකක ආධාරයෙන් නින්දට යන බවත් පැය දෙකක් තුළ 17 වතාවක් ඔහු අවදිවන බවත්ය. එලෙස අවදි වූයේ නැතිනම් ඔහුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවත්, තවද ඔහුගේ ඔළුවේ පිටිපස ගෙඩි දෙකක් පිහිටීම නිසා ස්නායු තත්ත්වය දුර්වල වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 2015 වර්ෂයට අදාළව මතුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා නොදීමට කිසිදු නීතිමය සාධාරණ හේතුවක් නොමැති බව පවසමින්, නීතිඥවරයා ඉල්ලා සිටියේ ඔහුට ඇප ලබා දෙන ලෙසයි.
















