ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 සහ 2026 වර්ෂයන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ‘ඊ-ආර්ථික සංගණනය’ (e-Census 2026) යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්. ඩී. කරුණාරත්ත මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වී ඇත්තේ රටේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ නවතම සහ විශ්වසනීය සංඛ්‍යාන තොරතුරු සම්පාදනය කිරීමයි. ලෝක කෘෂිකාර්මික හා ආහාර සංවිධානයේ මාර්ගෝපදේශ හා තාක්ෂණික සහය ඇතිව පවත්වන මෙම සංගණනයේ දත්තවල ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා මෙවර නවීන තාක්ෂණය පුළුල් ලෙස උපයෝගී කර ගැනීමට නියමිතය.
මෙහිදී වී, තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස්, එළවළු, පලතුරු සහ ධාන්‍ය වගාවන් මෙන්ම සත්ව පාලනය, පැළ තවාන්, ජල සම්පාදන ක්‍රමවේද සහ නව කෘෂි තාක්ෂණික ක්‍රමවේදයන්ට ඇති නැඹුරුව යනාදී පුළුල් තොරතුරු රැස්කෙරේ. පැහැදිලි අනාගත ප්‍රතිපත්ති සැලසුම් කිරීමෙන් මෙරට කෘෂි කර්මාන්තය නව දිශාවකට යොමු කිරීමට මෙම දත්ත ඉතා වැදගත් වන අතර, රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් වැය කරමින් නිලධාරීන් 15,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සහ ටැබ්ලට් පරිගණක 16,000ක පමණ භාවිතයෙන් මෙම කටයුතු සිදු කෙරේ. සංගණන ආඥා පනත සහ සංඛ්‍යාලේඛන ආඥා පනත යටතේ සියලුම තොරතුරු පූර්ණ රහස්්‍යභාවයෙන් ආරක්ෂා කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















