යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට එල්ල වන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ, සෞදිය ආරක්ෂා කරගැනීම සඳහා සිරියානු හමුදා සහාය ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සිරියාවේ අවධානය යොමු වී තිබේ. සිරියානු ජනාධිපති අහමඩ් අල්-ෂාරා මහතා පසුගිය අඟහරුවාදා (06) සෞදි අරාබියේ රියාද් නුවරදී සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හමුවී මෙම යුද සහාය ලබාදීමේ විකල්ප පිළිබඳව සාකච්ඡා කර ඇත. ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදීම හෝ සෘජුවම සිරියානු සේනාංක සෞදි හමුදාවල සහායට යෙදවීම මෙහිදී සලකා බලා තිබේ.
කෙසේ වෙතත්, වසර 14ක් පුරා පැවැති සිවිල් යුද්ධයෙන් බැටකා ප්‍රතිසංස්කරණය වෙමින් පවතින සිරියාවට, ඉරාන හිතවාදී හූතිවරුන්ට එරෙහිව යුද වැදීම දේශපාලනික සහ ආගමික වශයෙන් බරපතල අවදානමක් විය හැකි බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සිරියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තමන් සෞදි අරාබිය සමඟ ස්ථාවරව පෙනී සිටින නමුත්, දැනට තම රජයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ සිවිල් යුද්ධයෙන් පසු රට ගොඩනැඟීමේ අභ්‍යන්තර කටයුතු සඳහා බවයි.
















