බටහිර අප්රිකානු රාජ්යයක් වන සෙනගාලයේ ජාත්යන්තර බැඳුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම, රජය සමඟ පැවැත්වෙන ණය ප්රතිව්යුහගත කිරීමේ සාකච්ඡා සඳහා මූල්ය උපදේශකයෙකු ලෙස Alvarez & Marsal ආයතනය තෝරාගෙන තිබේ.
මෙම තොරතුරු පිළිබඳ සෘජු දැනුමක් ඇති පුද්ගලයන් තිදෙනෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කරයි.
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් (IMF) ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක මූල්ය සහාය ණයක් ලබාගැනීමේ අරමුණින් සෙනගාල රජය පසුගිය මාසයේ ණය ප්රතිව්යුහගත කිරීමේ සැලසුම් ප්රකාශයට පත් කළේය.
2024දී රටේ ණය තත්ත්වය පිළිබඳ වැරදි ලෙස වාර්තා වූ අනාවරණයකින් පසු, ණය බර තිරසාර මට්ටමකට ගෙන ඒම සඳහා සෙනගාලයට පියවර ගන්නා ලෙස පීඩනය වැඩි වී තිබේ. විශ්ලේෂකයන් පසුව එහි වගකීම් ප්රමාණය ඩොලර් බිලියන 13ක් පමණ ලෙස ඇස්තමේන්තු කර තිබේ.
මේ අතර, ණය මුදලේ මුල් ප්රමාණයෙන් කොටසක් කපා හැරීම හෙවත් “haircut” ක්රමයක් ඉල්ලා සිටීම සාකච්ඡා සැලකිය යුතු ලෙස ප්රමාද කළ හැකි බවට බැඳුම්කර හිමියන් රජයට ලිපියක් යවා ඇති බව තවත් මූලාශ්ර තුනක් සඳහන් කර ඇත.
ණයහිමියන් සමඟ පැවති සාකච්ඡාවකදී, නිල ණයහිමියන් සහ බැඳුම්කර හිමියන් සමඟ දෙසැම්බර් මාසය වන විට එකඟතා ඇති කරගැනීම සෙනගාලයේ ඉලක්කය බව ද රජය ප්රකාශ කර තිබේ.
බැඳුම්කර හිමියන් නියෝජනය කරන කණ්ඩායම සතුව, සමස්ත ඩොලර් බිලියන 5.2ක වටිනාකමකින් යුත් නිකුත් කර ඇති බැඳුම්කර අතරින් ඩොලර් බිලියන 2.2ක මුහුණත වටිනාකමක් ඇති බැඳුම්කර පවතින බව වාර්තාවේ සඳහන් වේ.
















