යුරෝ කලාපයේ සමාගම් කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙන් සේවකයන්ට වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීමේ හැකියාව දුර්වල විය හැකි බව යුරෝපීය මහ බැංකුවේ (ECB) ප්රධාන ආර්ථික විශේෂඥ පිලිප් ලේන් පවසයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, AI තාක්ෂණය මඟින් ඇතැම් රැකියා වෙනුවට වෙනත් ක්රම භාවිත කිරීමට ඇති හැකියාව සේවකයන්ගේ සාකච්ඡා බලය අඩු කළ හැකිය. එමඟින් වැටුප් වර්ධනය මන්දගාමී වීමත්, සමස්ත ආදායමෙන් ශ්රමිකයන්ට හිමිවන කොටස පහළ යාමත් සිදුවිය හැකි බව ලේන් පෙන්වා දී තිබේ.
උද්ධමනය ඉහළ මට්ටමක පැවතියද, බඳවා ගැනීමේ සැලසුම් සීමිත වීම සේවකයන්ට ඉහළ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීමේ අවස්ථා සීමා කරන බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම, ලොව පුරා සමාගම් AI තාක්ෂණයට විශාල වශයෙන් ආයෝජනය කිරීම සඳහා ණය ලබාගැනීම හේතුවෙන් දිගුකාලීන ණය ගැනීමේ පිරිවැය ඉහළ යා හැකි බව ලේන් පවසයි. එම තත්ත්වය යුරෝ කලාපයේ මූල්ය තත්ත්වයන් තවදුරටත් දැඩි කිරීමට බලපාන අතර, උද්ධමනය පාලනය කිරීම සඳහා යුරෝපීය මහ බැංකුව ගත යුතු මුදල් ප්රතිපත්ති තීරණ කෙරෙහිද බලපෑ හැකිය.
කෙසේ වෙතත්, දිගුකාලීනව AI තාක්ෂණය ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව සහ වර්ධනය ඉහළ නැංවීමටත්, වැඩ කරන වයසේ ජනගහනය අඩුවීමෙන් ඇතිවන බලපෑම් යම් තරමකට අවම කිරීමටත් දායක විය හැකි බව ලේන් පෙන්වා දී තිබේ.
















