රුසියාවේ ඈත පෙරදිග පිහිටි සකාලින් දූපතේදී ජපන් මාධ්යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) ඔහුට ඔත්තු බැලීමේ චෝදනා එල්ල කර තිබේ.
රුසියානු බලධාරීන්ට අනුව, ජපාන බුද්ධි අංශ වෙනුවෙන් රුසියාවේ ආරක්ෂක හැකියාවන් පිළිබඳ තොරතුරු රැස් කළ බවට මෙම මාධ්යවේදියා සැක කෙරේ. රුසියානු විදේශ අමාත්යාංශය ඔහු හොක්කයිඩෝ ෂිම්බුන් පුවත්පතේ සේවය කරන ඉමායි යුකි ලෙස හඳුන්වා දී තිබේ.
FSB ප්රකාශයට අනුව, රුසියාවෙන් පිටවීමට සූදානම්ව සිටියදී යුෂ්නෝ-සකාලින්ස්ක් නගරයේදී ඔහු අත්අඩංගුවට ගෙන පසුව මොස්කව් වෙත රැගෙන ගොස් ඇත. එහිදී අධිකරණයක් විමර්ශන අවසන් වනතුරු ඔහු රඳවා තැබීමට නියෝග කර තිබේ. එම චෝදනාවට වරදකරු වුවහොත් වසර 20ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බව වාර්තාවේ සඳහන් වේ.
ජපාන රජය, මාධ්යවේදියා රඳවාගෙන සිටින බවට පළවූ වාර්තා සත්යාපනය කිරීමට උත්සාහ කරමින් සිටින බව මොස්කව්හි ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙකු උපුටා දක්වමින් ජපානයේ කියෝඩෝ පුවත් සේවය වාර්තා කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ රුසියාව සහ ජපානය අතර පවතින ආතතීන් ඉහළ ගොස් ඇති පසුබිමකය. කුරිල් දූපත් සම්බන්ධයෙන් දෙරට අතර දිගුකාලීන මතභේදයක් පවතී.
















