මැදපෙරදිග උග්ර වී ඇති යුද අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ යමින් පැවතියද, එහි පූර්ණ බර මෙරට ජනතාව මත නොපටවා පිරිවැය භාණ්ඩාගාරය මඟින් දරාගැනීමට රජය පියවර ගෙන තිබේ. කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවේදී තහවුරු කළේ, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඩොලර් 108 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක ලොව බොහෝ රටවල් ඉන්ධන මිල ඉහළ දමා තිබුණද, මෙරට ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සලකා මෙම තීරණය ගත් බවයි.
ගෝලීය මිල වෙනස්වීම්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ යා යුතු වුවද, පසුගිය අප්රේල් මාසයේදී රුපියල් බිලියන 57ක් සහ මෑතකදී තවත් රුපියල් බිලියන 41ක් වශයෙන් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් භාණ්ඩාගාරය හරහා දරමින් ඉන්ධන මිල පාලනය කරගැනීමට රජය මැදිහත් වී ඇත. ජනතා බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් මෙවැනි අසීරු අවස්ථාවකදී ජනතාවට සහන සැලසීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් අමාත්යවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන ආනයන සමාගම් සමඟ එක්ව ඉදිරියටත් මිල ස්ථාවරව පවත්වා ගැනීමට කටයුතු කරන බව ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, මැදපෙරදිග තෙල් ප්රවාහන නෞකාවලට එල්ල වන ප්රහාර උත්සන්න වීම හෝ තෙල් සංචිත සිඳීයාම වැනි අනපේක්ෂිත අර්බුද හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 150 සීමාව ඉක්මවා ගියහොත්, එම අන්තගාමී තත්ත්වයන් යටතේ නිශ්චිත අනාවැකි පළ කිරීම දුෂ්කර වනු ඇති බවටද අනතුරු අඟවා තිබේ. එබඳු ගෝලීය අභියෝග හමුවේ වුවද, භාණ්ඩාගාරයට දැරිය හැකි උපරිම සීමාව දක්වා ජනතාව වෙත එල්ල වන ආර්ථික පීඩනය අවම කිරීමට රජය අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කෙරේ.
















