මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති උග්ර යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල, ප්රවාහන ගාස්තු සහ ආනයනික භාණ්ඩවල පිරිවැය ඉහළ යාම නිසා මෙරට බාහිර ආර්ථික අංශයට සහ විනිමය අනුපාතයට සෘජු පීඩනයක් එල්ල වී තිබේ. මෙම බාහිර ගෝලීය අභියෝග හමුවේ වුවද, පසුගියදා සිදුවූ ‘දිට්ඨ’ සුළි කුණාටුවෙන් විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා කිසිදු විදේශීය රටකින් හෝ ආයතනයකින් ණය ලබාගැනීමකින් තොරව, දේශීය වශයෙන් රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කිරීමට රජයට හැකිවූ බව මුදල් නියෝජ්ය අමාත්ය, මහාචාර්ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය.
බිඳවැටී තිබූ ආර්ථිකයක් යළි ගොඩනගමින් පවතින සංවේදී වටපිටාවක, මෙවැනි අනපේක්ෂිත ස්වභාවික සහ ගෝලීය කම්පනයන්ට ඔරොත්තු දීමේ පූර්ණ හැකියාව ප්රදර්ශනය කිරීම සුවිශේෂී තත්ත්වයක් ලෙස පෙන්වා දෙන නියෝජ්ය අමාත්යවරයා, මෙරට පවතින දුප්පත්කම දීර්ඝකාලීන ව්යුහාත්මක ගැටලුවක් බවද සඳහන් කළේය. ගෝලීය තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එල්ල වන පීඩනය හමුවේ වුවද, රට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය තිරසාර ලෙස පවත්වා ගැනීමටත්, ජනතාව වෙත එල්ල වන ආර්ථික බර අවම කරගනිමින් පාලනය කිරීමටත් රාජ්ය මූල්ය කළමනාකරණය හරහා කටයුතු යොදා ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ගෝලීය භූ-දේශපාලනික ආතතිය තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට ආනයන පිරිවැය සහ උද්ධමනකාරී පීඩනය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, පවතින රාජ්ය මූල්ය විනය අඛණ්ඩව පවත්වා ගැනීම අත්යවශ්ය වේ. ඉදිරියේදී ස්වභාවික ආපදා ප්රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමත් සමඟම, ගෝලීය තෙල් මිල හමුවේ මතුවන බාහිර ආර්ථික අභියෝග කළමනාකරණය කරගැනීමට රජය සහ මහ බැංකුව අනුගමනය කරන උපායමාර්ගික පියවරයන් මෙරට ඉදිරි ආර්ථික ගමන්මග තීරණය කරනු ඇත.
















