යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන්ට එරෙහිව ක්රියාත්මක හමුදා මෙහෙයුම් සඳහා ඊශ්රායලය සම්බන්ධ කරගැනීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කළ යෝජනාව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් සෘජුවම ප්රතික්ෂේප කර තිබේ. එක්සත් ජනපද මැදිහත්වීම හරහා රියාද් පාලනය වෙත ඉදිරිපත් වූ මෙම හමුදාමය සහයෝගිතා යෝජනාව ප්රතික්ෂේප කිරීමට සෞදි අරාබිය තීරණය කර ඇත්තේ, ඊශ්රායල හමුදා මැදිහත්වීමක් හමුවේ සෞදි සහ අරාබි ජනතාව අතර දැඩි මහජන විරෝධයක් සහ ආවේගයක් මතුවීමේ අවදානම සලකා බලමිනි.
දෙරට අතර හමුදාමය සබඳතා ගොඩනගා ගැනීම හරහා කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමටත්, අනාගතයේදී සෞදි-ඊශ්රායල රාජ්යතාන්ත්රික සබඳතා සාමාන්යකරණය කිරීමේ ගිවිසුමකට මගපාදා ගැනීමටත් ඊශ්රායලය සහ අමෙරිකාව අපේක්ෂා කළද, පලස්තීන අර්බුදයට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් කිසිදු සාමාන්යකරණයකට එළඹෙන්නේ නැති බව සෞදි අරාබිය නැවත නැවතත් අවධාරණය කර ඇත. විශේෂයෙන්ම පලස්තීන රාජ්යයක් පිහිටුවීම වැළැක්වීමට නෙතන්යාහු පාලනය දරන උත්සාහය හමුවේ, හූතිවරුන්ගේ ප්රහාරයන්ගෙන් සිය ගුවන් ක්ෂේත්රයට සහ ගුවන් තොටුපළවලට බාධා එල්ල වී තිබියදී පවා ඊශ්රායලයේ සෘජු හමුදාමය සහාය ලබාගැනීම සෞදි රාජධානිය විසින් ප්රතික්ෂේප කර තිබීම කැපී පෙනෙන කරුණකි.
මෙම අලුත්ම රාජ්යතාන්ත්රික පසුබෑම හමුවේ මැදපෙරදිග කලාපීය භූ-දේශපාලනික බලතුලනය තවදුරටත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති අතර, අමෙරිකාව ප්රමුඛ බලවතුන්ට සිය විදේශ ප්රතිපත්ති උපායමාර්ග නැවත සමාලෝචනය කිරීමට සිදුවනු ඇත. ඉදිරියේදී යේමන අර්බුදයේ ගමන්මග මෙන්ම, පලස්තීන අයිතිවාසිකම් මුල්කරගනිමින් රියාද් සහ ටෙල් අවිව් පාලනයන් අතර පවතින මෙම මතවාදී පරතරය සමනය කරගැනීමට ඇමෙරිකානු පරිපාලනය දරන රාජ්යතාන්ත්රික ප්රයත්නයන් කලාපයේ අනාගත ස්ථාවරත්වයට තීරණාත්මක වනු ඇත.
















