ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර කාර්මික, ආයෝජන සහ ව්යාපාරික සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ප්රමුඛ පෙළේ ව්යාපාරික නියෝජිත පිරිසක් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා හමුවී තිබේ.
කොළඹදී පැවති මෙම හමුවේදී ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනාගැනීම, දෙරටේ ව්යාපාර අතර හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සහ අන්යෝන්ය වශයෙන් වාසිදායක කාර්මික සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කර ඇත.
ඉන්දීය නියෝජිත පිරිසට නව්යකරණය හා පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්ය සේවා, තොරතුරු තාක්ෂණය, වානේ නිෂ්පාදනය, පාවහන් නිෂ්පාදනය සහ කාර්මික ටැංකි හා ලයිනර් නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්ර නියෝජනය කරන ව්යාපාරිකයෝ ඇතුළත් වූහ. ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්යෙෂ්ඨ විධායක නිලධාරීහුද සාකච්ඡාවට එක්ව සිටියහ.
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සහ දේශීය ව්යාපාර සඳහා වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඉන්දීය කර්මාන්ත සම්මේලනය වැනි ආයතන සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ කාර්මික සංවර්ධනයට සහ ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීමට අවස්ථා සැලසෙනු ඇතැයි අමාත්යාංශය සඳහන් කරයි.
















