උතුරු අර්ධද්වීපයේ පානීය ජල හා කෘෂිකාර්මික අවශ්යතා සඳහා අත්යවශ්ය වන භූගත ජල සම්පත විද්යාත්මකව කළමනාකරණය කර ආරක්ෂා කිරීමේ අරමුණින් යාපනය කේන්ද්ර කරගනිමින් නව භූගත ජල කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, මෙම ඒකකය හෙට (16) පරිසර අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් සහ පරිසර නියෝජ්ය අමාත්යවරයාගේ සහභාගිත්වයෙන් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
නව රජයේ ‘තිරසර දියවර’ ජාතික වැඩසටහනට සමගාමීව, ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් ක්රියාත්මක කරනු ලබන ව්යාපෘති තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.
දිවයිනේ මතුපිට හා භූගත ජල මූලාශ්ර ආරක්ෂා කිරීම, ජලයේ තත්ත්වය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් ජල සම්පත තිරසර ලෙස භාවිත කිරීම තහවුරු කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.
යාපනයේ ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීම සහ කෘෂිකර්මාන්තයට අවශ්ය ජල සම්පත් ආරක්ෂා කිරීම සඳහා මෙම නව කළමනාකරණ ඒකකය වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















