දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ (SATA 2026) ප්රමුඛතම ජාත්යන්තර ගුවන් සේවය සඳහා වන පාරිභෝගික තේරීමේ සම්මානය ශ්රීලංකන් ගුවන් සේවය දිනාගෙන තිබේ.
මෙවර සම්මාන උළෙලේදී එම අංශය යටතේ ඇගයීමට ලක්වූ එකම ජාත්යන්තර ගුවන් සේවය ශ්රීලංකන් ගුවන් සේවය වීම විශේෂත්වයකි. දසවැනි වරටත් පැවැත්වුණු SATA සම්මාන උළෙල මාලදිවයිනේ මාලේ නුවර පිහිටි Hotel Barcelo Nasandhura හිදී පැවැත්විණි.
මෙම ජයග්රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්රධානී දිමුත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මගීන්ට උසස් සේවාවක් සැපයීමට ගුවන් සේවය දක්වන කැපවීම සහ කලාපීය ගුවන් සම්බන්ධතා ශක්තිමත් කිරීමට එහි ඇති දායකත්වය මෙම සම්මානයෙන් පිළිබිඹු වන බවයි.
සංචාරක අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, සේවා සපයන වෙළෙඳපොළ හා ජනතාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමටත් මෙම ඇගයීම දිරිගැන්වීමක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රීලංකන් ගුවන් සේවය ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන දකුණු ආසියානු රටවල ගමනාන්ත 15ක් වෙත සතියකට ගුවන් ගමන් 130කට ආසන්න සංඛ්යාවක් ක්රියාත්මක කරයි. එම ගුවන් ගමන් ජාලය කොළඹට පැමිණෙන ව්යාපාරික හා විවේක සංචාරකයන්ට මෙන්ම කොළඹ හරහා වෙනත් ජාත්යන්තර ගමනාන්ත වෙත ගමන් කරන මගීන්ටද පහසු සම්බන්ධතා සපයයි.
මෙම සම්මානය ශ්රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු සංචාරක ක්ෂේත්රයට සහ කලාපීය ගුවන් සම්බන්ධතා වර්ධනයට ලබාදෙන දායකත්වය ඇගයීමට ලක්වීමක් ලෙස සැලකේ.
















