බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා අද (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ බිම අසුන්ගෙන විරෝධතාවක නිරත වී තිබේ.
උන්වහන්සේලා සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ඉදිරිපත් නොවීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගෙන ඇති බව අද දෙරණ වාර්තා කරයි.
මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කළ **‘නිදහසේ පාද යාත්රාව’** අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා වූ අතර, අනතුරුව භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද සිදු කර තිබේ.
පාගමනේ හයවැනි දිනය වූ අද දිනයේ එය කඩවතින් ආරම්භ වී කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන හරහා කොළඹට පැමිණ ඇත.
පාගමන හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර, ගාලු මුවදොර මාර්ගයේ රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම පාද යාත්රාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් ආරම්භ කර තිබිණි.
















