පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් අතර අද (15) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මහා සංඝරත්නය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාසයක කාලයක් අවශ්ය බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු දැනුම් දීමත් සමඟ මෙම විරෝධය මතුව ඇත.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ නිල ප්රකාශයක් ලබාදෙන ලෙස භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටිති. එම ප්රකාශය ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී රැඳී සිටින බව ද උන්වහන්සේලා අවධාරණය කර තිබේ.
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැමිණි පාද යාත්රාව අද හයවැනි දිනයට කඩවත නගරයෙන් ආරම්භ වී කොළඹට ළඟා වූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේ පිරිත් සජ්ඣායනා සහ මෛත්රී භාවනාවෙහි ද නිරත වූහ.
















