මෝටර් රථවලින් නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් (CO₂) විමෝචනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති 2035 ඉලක්ක ලිහිල් කිරීම සඳහා ප්රංශය සහ ජර්මනිය අතර එකඟතාවක් ඇතිවීමට ආසන්න බව රාජ්යතාන්ත්රික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
යෝජිත සැලැස්ම අනුව, 2021 මට්ටම්වලට සාපේක්ෂව 2035 වන විට මෝටර් රථවල CO₂ විමෝචනය 90%කින් අඩු කිරීමේ ඉලක්කය පවත්වාගෙන යාමට නියමිතය. එහෙත් එම ඉලක්කය සපුරාලීම සඳහා අඩු කාබන් විමෝචනයක් සහිත වානේ හෝ විකල්ප ඉන්ධන භාවිතයෙන් ඉතිරි 10% පියවා ගැනීම අනිවාර්ය නොවන පරිදි නීති වෙනස් කිරීමට යෝජනා වී තිබේ.
යුරෝපා කොමිසම මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව අනුව, මෝටර් රථ නිෂ්පාදකයන්ට 2035 වන විට විමෝචනය 100%කින් අඩු කිරීමේ ඉලක්කය සපුරාලීමට අමතර පියවර ගැනීමට සිදුවිය හැකිව තිබුණි. නව යෝජනාව ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයන්ගේ ඉල්ලීම්වලටද බොහෝ දුරට ගැළපෙන බව වාර්තා වේ.
මේ අතර, යුරෝපා සංගමයේ ‘Made in EU’ නීති යටතේ රාජ්ය ප්රසම්පාදන, මහජන වෙන්දේසි සහ සහනාධාර යටතේ මිලදී ගන්නා නිෂ්පාදන සඳහා දේශීය නිෂ්පාදන හා අඩු කාබන් අවශ්යතා පැනවීම සම්බන්ධයෙන්ද දෙරටේ සැලැස්ම අවධානය යොමු කරයි.
එම නීති යටතේ යුරෝපා සංගමයෙන් පිටත නිෂ්පාදනය කරන භාණ්ඩ ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳව සාමාජික රටවල් අතර මතභේද පවතී. ප්රංශය යුරෝපා සංගමය තුළ නිෂ්පාදනය කළ භාණ්ඩවලට ප්රමුඛත්වය දීමට උත්සාහ කරන අතර, ජර්මනිය මෝටර් රථ සැපයුම් දාම සමඟ සමීපව සම්බන්ධ රටවල් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති හවුල්කරුවන් ද ඇතුළත් කිරීමට කැමැත්ත පළ කර තිබේ.
යෝජිත එකඟතාව තවමත් අවසන් වශයෙන් තහවුරු කර නොමැති අතර, එමගින් බ්රිතාන්යයටද ‘Made in EU’ නීති යටතේ විශ්වාසදායක හවුල්කරුවකු ලෙස සැලකීමේ අවස්ථාව විවෘත විය හැකිය.














