ගලෙන්බිඳුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක දිනෙන් දින උග්රවන වන අලි තර්ජනය හේතුවෙන් ප්රදේශවාසීන්ගේ ජීවිත මෙන්ම දීර්ඝකාලීන කෘෂිකාර්මික වගාවන් ද දැවැන්ත විනාශයකට මුහුණ දී තිබේ. හුරුලුවැව, මානන්කට්ටිය සහ රිටිගල යන රක්ෂිතවල සිටින වන අලි රංචු පිටින් ගම්වැදීම වැළැක්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි ගණනක පිරිවැයකින් ඉදිකරන ලද විදුලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීම සහ එහි ප්රමාණවත් විදුලි බලයක් ගමන් නොකිරීම නිසා අලින් එය පහසුවෙන්ම බිඳදමා ගම්මාන වෙත කඩා වදින බවට ගොවි ජනතාව චෝදනා කරති.
තත්ත්වය වඩාත් බරපතළ කරමින්, ගම්වදින වන අලින් විශාල ලී කොට යොදාගනිමින් ගොවීන්ගේ පුද්ගලික විදුලි වැටවල් විනාශ කිරීමට අමතරව, ප්රධාන ධාරාවේ වෝල්ට් 33,000 ක අධිබලැති විදුලි කණු සහ රැහැන් ගොවීන්ගේ වැටවල් දෙසටම පෙරළා දැමීමට පෙළඹී සිටිති. මෙලෙස අධිබල විදුලි පද්ධති කඩාවැටීම හේතුවෙන් වන අලින්ගේ මෙන්ම ගම්වාසීන්ගේ ද ජීවිතවලට ඕනෑම මොහොතක මාරාන්තික විදුලිසර වැදීමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර, නිතර සිදුවන මෙම පද්ධති විනාශ වීම හේතුවෙන් රාජ්ය භාණ්ඩාගාරයට ද දැවැන්ත මූල්ය අලාභයක් සිදු වෙමින් පවතී.
වන අලි – මිනිස් ගැටුම මාරාන්තික ව්යසනයක් බවට පත්වීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු රාජ්ය ආයතන වහා මැදිහත් වී පවතින විදුලි වැටවල් විධිමත් ලෙස යාවත්කාලීන කර නඩත්තු කිරීමට පියවර ගත යුතුව තිබේ. ප්රදේශයේ ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කරන අතරම, අධිබල විදුලි පද්ධතිය ආරක්ෂා කරගැනීමටත්, වන අලින්ගේ මෙන්ම ගම්වාසීන්ගේ ජීවිත ආරක්ෂා කරදීමටත් බලධාරීන් කඩිනම් සහ තිරසාර රාජ්ය මැදිහත්වීමක් සිදුකළ යුතු බව ප්රදේශවාසීහු සහ ක්ෂේත්ර විශ්ලේෂකයෝ අවධාරණය කරති.
















