රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය සුරක්ෂිත කිරීම සඳහා බුදුසසුනට ප්රමුඛස්ථානය ලබාදෙන අතරම සෙසු ආගම් සහ ආගමික සිද්ධස්ථානද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අපවත්වී වදාළ අතිපූජ්ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රටේ උත්තරීතර නීතියට අනුව සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එමෙන්ම සෙසු ආගම්, ජන කොටස්, සංස්කෘතීන් සහ ආගමික සිද්ධස්ථානවලටද නිසි රැකවරණය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
අපවත්වී වදාළ වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් පන්සල්, දහම් පාසල් සහ පිරිවෙන් ශක්තිමත් කිරීමට කටයුතු කළ බව සජිත් ප්රේමදාස මහතා සඳහන් කළේය. එසේම පිළියන්දල විද්යාශාන්ති පුදබිම ගොඩනඟා සංවර්ධනය කරමින් උන්වහන්සේ විශාල ශාසනික සේවාවක් ඉටු කළ බවද ඔහු පැවසීය.
උන්වහන්සේගෙන් ලැබුණු ආදර්ශ අනුව මහා සංඝරත්නය ආරක්ෂා කරමින්, චීවරයට නිසි ගෞරවය ලබාදෙමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















