යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර කාර්මික හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ මෙරටට නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම සාකච්ඡාව ඔක්තෝබර් 15 වැනිදා පැවැති අතර, යුරෝපා කොමිසමේ ජාත්යන්තර හවුල්කාරීත්ව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් මහතා ඇතුළු යුරෝපා සංගම් නියෝජිත පිරිසක් ඊට එක්ව සිටියහ.
මෙහිදී ශ්රී ලංකාවේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම සහ ඔවුන්ට අපනයන වෙළෙඳපොළට පිවිසීමට ඇති අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු විය. නව ව්යවසායකයන්ගේ අදහස් සාර්ථක ව්යාපාර බවට පත් කිරීම සඳහා Startup Incubators හෙවත් නව ව්යවසායකත්ව පුර්ව-වර්ධන මධ්යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි.
එම මධ්යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ප්රාග්ධන ආයෝජන සහ තාක්ෂණික සහාය ලබාදෙමින් දේශීය ව්යවසායකයන් සමඟ හවුල්කාරීත්ව ගොඩනඟා ගැනීමට යුරෝපා සංගමයේ සහාය අපේක්ෂා කරන බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, පුහුණු ශ්රම බලකාය සහ ජාත්යන්තර මුහුදු වෙළෙඳ මාර්ගවලට ඇති සමීපත්වය විදේශ ආයෝජකයන්ට වැදගත් වාසි ලෙස පෙන්වා දුන් ඔහු, නැගෙනහිර වෙළෙඳපොළ වෙත පිවිසීමේ දොරටුවක් ලෙස ශ්රී ලංකාව සලකන ලෙස යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කළේය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ රජය ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ, දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනයේ විනිවිදභාවය තහවුරු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ යුරෝපා සංගම් නියෝජිත පීටරිස් උස්ටබ්ස් මහතා, ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම මඟින් යුරෝපා සංගමයේ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්රී ලංකාවට අවස්ථා පුළුල් වන බව සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවට කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා මහත්මිය සහ සහයෝගීතා ප්රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් මහත්මිය ඇතුළු නිලධාරීහු ද සහභාගී වූහ.
















