සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමියෝ ප්රකාශ කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අද (16) අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.
එහිදී ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම සඳහා ක්රමවේදයක් තිබේදැයි අස්ගිරි මහනාහිමියන් විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පිළිතුරු දී තිබේ.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන් ද බැහැදැක තිබේ.
එහිදී අදහස් දැක්වූ මල්වතු මහනාහිමියන් පවසා ඇත්තේ, චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන හෝ සිරගත කරන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් වෙනම ස්ථානයක් ස්ථාපිත කිරීම සුදුසු බවයි.
එම ස්ථානයේදී භික්ෂූන් වහන්සේට ආගමික කටයුතු සිදුකිරීමේ නිදහස ලබාදිය යුතු අතර, උන්වහන්සේලාට යහපත් ලෙස සැලකීම ද වැදගත් බව මහනාහිමියෝ අවධාරණය කර තිබේ.
මෙම යෝජනාව සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡාවක් පැවැත්වුවද එය අවසන් වී ඇත්තේ නිශ්චිත තීරණයකින් තොරව බව ද වාර්තා වේ.
















