එංගලන්තයේ රෝහල්වල සංක්රාන්ති ලිංගික පුද්ගලයන් සඳහා වාට්ටු සහ පහසුකම් වෙන් කිරීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
NHS England විසින් නිකුත් කළ මෙම මාර්ගෝපදේශ අනුව, සංක්රාන්ති ලිංගික රෝගීන් සාමාන්යයෙන් ඔවුන්ගේ ජීව විද්යාත්මක ලිංගිකත්වයට අදාළ තනි ලිංගික වාට්ටුවල හෝ වාට්ටු කොටස්වල රැකවරණය ලැබිය යුතුය.
කෙසේ වෙතත්, එලෙස වෙන් කිරීම වෛද්යමය වශයෙන් සුදුසු නොවන අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදිය යුතු බව ද මාර්ගෝපදේශයේ සඳහන් වේ. එහිදී අදාළ රෝගියාගේ වෛද්යමය අවශ්යතා මෙන්ම සියලුම රෝගීන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ ගෞරවය ද සැලකිල්ලට ගත යුතුය.
රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙන් කර ඇති වැසිකිළි සහ ඇඳුම් මාරු කරන ස්ථාන වැනි පහසුකම් සම්බන්ධයෙන් ද මෙම ප්රතිපත්තිය අදාළ වන අතර, අවශ්ය අවස්ථාවලදී තනි පුද්ගලයකුට භාවිත කළ හැකි හෝ ආරක්ෂිතව අගුළු දැමිය හැකි විකල්ප පහසුකම් සැපයීමට ද නිර්දේශ කර තිබේ.
මෙම වෙනසට පසුබිම් වී ඇත්තේ 2025 අප්රේල් මාසයේදී එක්සත් රාජධානියේ ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවයි. එම තීන්දුවෙන් සමානාත්මතා පනතේ (Equality Act 2010) ‘ලිංගිකත්වය’ යන යෙදුම ජීව විද්යාත්මක ලිංගිකත්වය අනුව අර්ථ දැක්විය යුතු බව තීරණය කෙරිණි.
නව මාර්ගෝපදේශය සම්බන්ධයෙන් සංක්රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගෙන් විවේචන ද එල්ල වී තිබේ. එම පාර්ශ්ව පෙන්වා දෙන්නේ නව ක්රමවේදය ක්රියාත්මක කිරීමේදී සංක්රාන්ති ලිංගික පුද්ගලයන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ සෞඛ්ය සේවාවන්ට ප්රවේශ වීම පිළිබඳ ගැටලු මතුවිය හැකි බවයි.
















