දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ප්රමුඛ ආකර්ෂණයක් දිනාගත් ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ පෞරාණික උරුමය හා අනන්යතාව සුරක්ෂිත කරමින්, එය ජාතික මට්ටමේ ප්රමුඛ සංචාරක මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සංරක්ෂණ ව්යාපෘතියේ කටයුතු මේ වන විට කඩිනමින් ක්රියාත්මක වෙමින් පවතියි. මෙම පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතුවල වත්මන් ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු උසස් නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා නුවරඑළිය තැපැල් කාර්යාල පරිශ්රයේ විශේෂ ක්ෂේත්ර නිරීක්ෂණයක නිරත විය.
ව්යාපෘතියේ ඉදිරි ක්රියාමාර්ග සහ සංරක්ෂණ කටයුතුවල උසස් ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාව, පුරාවිද්යා දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් හා ප්රාදේශීය සංරක්ෂකවරුන් ඇතුළු පාර්ශ්වයන් කිහිපයකගේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. බ්රිතාන්ය යටත්විජිත සමයට අයත් සුවිශේෂී ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිත මෙම ගොඩනැගිල්ල නාගරික හා සංචාරක සංවර්ධන සැලසුම් සමඟ බද්ධ කරමින් ප්රතිසංස්කරණය කිරීම හරහා මෙරට සංස්කෘතික උරුමයන් ආරක්ෂා වන අතරම, සංචාරක ක්ෂේත්රයට ද ඉහළ ආර්ථික වටිනාකමක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රාජ්ය අංශයේ බහු-ආයතනික එකමුතුවෙන් ක්රියාත්මක වන මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ අවසන් වීමත් සමඟ, නුවරඑළිය නගරයේ සුවිශේෂී සංස්කෘතික සංකේතයක් ලෙස පවතින මෙම භූමිය වඩාත් විධිමත් පදනමකින් සංචාරක ආකර්ෂණය සඳහා විවෘත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඉදිරියේදී මෙවැනි පෞරාණික රාජ්ය දේපොළ ආරක්ෂා කරගනිමින් සංචාරක ව්යාපාරයට සක්රීයව දායක කරගැනීමේ ආදර්ශමත් නියමු ව්යාපෘතියක් ලෙස මෙය ක්රියාත්මක වන බැවින්, ව්යාපෘතියේ ඉදිරි ප්රගතිය කෙරෙහි කලාපීය හා සංචාරක ක්ෂේත්රයේ දැඩි අවධානය යොමු වී තිබේ.














