ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් තවත් නෞකාවක් අද (18) මෙරටට ළඟා වීමට නියමිත බව වාර්තා වේ. ඊයේ දිනයේදී කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, අද දිනයේදී තවත් ගෑස් සිලින්ඩර 85,000ක් බෙදාහැරීමට නියමිත බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
ලිට්රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන ප්රකාශ කළේ වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය එළඹෙන අඟහරුවාදා වන විට සම්පූර්ණයෙන්ම විසඳීමට අපේක්ෂා කරන බවයි. පසුගිය දින දෙක තුළ ගෑස් බෙදාහැරීම සිදු නොවීම වත්මන් හිඟයට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ලාෆ් ගෑස් සමාගමේ සභාපති නලින්ද කුරුකුලසූරිය සඳහන් කළේ ගෑස් මෙට්රික් ටොන් 3,800ක් රැගත් නෞකාවක් එළඹෙන 20 වැනිදා හම්බන්තොට වරායටත්, මෙට්රික් ටොන් 3,500ක් රැගත් තවත් නෞකාවක් 24 වැනිදා කොළඹ වරායටත් පැමිණීමට නියමිත බවයි. මෙම නෞකා පැමිණීමත් සමඟ ඉදිරි දිනවලදී ගෑස් සැපයුම ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.












