අග්බෝ හස්තියා යළිත් වරක් වෙඩි ප්රහාරයකට ලක්ව ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ පළවන පුවත සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරක් වාර්තා වී නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසයි. අද දෙරණ කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
වනජීවී නිලධාරීන් අවසන් වරට පසුගිය සිකුරාදා (16) තිරප්පනේ ප්රදේශයේදී අග්බෝ හස්තියා දැක ඇති අතර, එම අවස්ථාවේදී හස්තියා වෙඩි ප්රහාරයකට ලක්වූ බවට නිරීක්ෂණය වී නොමැති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය. කෙසේ වෙතත්, සමාජ මාධ්ය ඔස්සේ පළවන තොරතුර සම්බන්ධයෙන් සොයා බැලීමට තිරප්පනේ ප්රදේශයේ වනජීවී නිලධාරීන් යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බඳින තුවක්කුවකට හසුවීම හේතුවෙන් අග්බෝ හස්තියා කලක සිට ඉදිරිපස වම් පාදයේ තුවාලයකින් පීඩා විඳි අතර, මාස හතක් පුරා සිදුකළ වෛද්ය ප්රතිකාරවලින් යම් සුවයක් ලබා තිබේ. අඩි 10ක් පමණ උසැති මෙම හස්තියා දිගු දළ යුගලයක් සහිත ශ්රී ලංකාවේ ප්රසිද්ධ හස්තියෙකි.














